දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

පාංශු හා ජල සංරක්ෂණය හා පාංශූ තත්ව වැඩිදියුණු කිරීම

ක්ෂේත්‍ර මට්ටමින් පාංශු හා ජල සංරක්ෂණය හා පාංශු පෝශකත්වය වැඩි දියුනු කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ ජාතික ශාක පෝෂණ කළමණාකරණ වැඩසටහනට පහසුකම් සැලසීම

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයේ ප්‍රධාන පදනමක් වන අතර, එහි ස්ථාවරත්වය හා දිගුකාලීන ඵලදායීතාවය භූමි හා ජල සම්පත් වල ගුණාත්මකභාවය මත තීරණය වේ. නමුත් අධික වර්ෂාපතනය, අවිධිමත් වගා ක්‍රම, රසායනික පොහොර අධික භාවිතය සහ නිසි භූමි කළමනාකරණ ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් පාංශු ඛාදනය, පාංශුපෝෂක ද්‍රව්‍ය අඩුවීම සහ ජල ප්‍රවාහ පද්ධති අස්ථාවර වීම වැනි ගැටළු උද්ගත වී ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත කඳුකර ප්‍රදේශයක් වන අතර, එය මුහුදු මට්ටමින් මීටර් 500 සිට මීටර් 2,600 දක්වා විහිදේ. මෙම උස වෙනස්වීම්, භූ විෂමතාවය, වර්ෂාපතන රටා, පාංශු තත්ත්වයන් සහ ප්‍රධාන වගා රටා සැලකිල්ලට ගත් විට, පළාතේ විශාල භූමි ප්‍රමාණයක් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින බව පැහැදිලි වේ. වසර පුරා පවතින අධික වර්ෂාපතනය සහ කෙටි කාලීන බෝග (විශේෂයෙන් එළවළු) කන්නයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගා කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශ නිරන්තර පාංශු ඛාදනයට ලක්වෙයි. එමෙන්ම ජලය රඳා පැවතීමේ හැකියාව ද අඩු මට්ටමක පවතී.
තවද, දේශගුණික විපර්යාසයන් හේතුවෙන් පස සේදීයාම සහ පස නායයාමේ තත්ත්වයන් තවත් වැඩි වී ඇති අතර, අඛණ්ඩව බෝග වගා කිරීම නිසා පසෙහි පවතින පෝෂක ද්‍රව්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වීම ,කාබණික පොහොර භාවිතා නොකිරීම සහ අධික ලෙස රසයෙනික පොහොර භාවිතය නිසා පාංශු නිසරුභාවය වැඩි වී ඇත. මෙය බෝග අස්වැන්න කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.
මෙම තත්ත්වය යටතේ, පාංශු ඛාදනය අවම කරගනිමින් වගා කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම, ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම සහ පාංශු හා ජල සංරක්ෂණ ක්‍රම ක්ෂේත්‍ර මට්ටමින් ආදර්ශ ක්ෂේත්‍ර ලෙස ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම, පාංශු සංරක්ෂණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ද වැදගත් වේ. තවද පස පරීක්ෂාකර පොහොර නිර්දේශ ලබා දීම තුලින් අධික ලෙස රසායනික පොහොර භාවිතය නිසා පසේ ඇත්වන පෝෂක අසමතුලිතතාවය අවම කිරීමටත් පස දූෂණය වීම අවම කිරීමටත් මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනු ලබයි.
ගොවීන්ගෙන් ලබා ගන්නා පාංශු නියදි දෙපාර්තමේන්තුව සතු පාංශු විද්‍යාගාර තුල පරීක්ෂාකර පොහොර නිර්දේශ ලබා දීමතුලින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා අවශ්‍ය රයායනික ද්‍රව්‍ය හා අනෙකුත් අවශ්‍යතා මෙම ව්‍යාපෘතිය මගින් සපයා ගැනීමටද බලාපොරොත්තුවේ.
එබැවින්, මෙම ව්‍යාපෘතිය මගින් ක්ෂේත්‍ර මට්ටමින් පාංශු හා ජල සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම, පාංශු සාරවත් බව වැඩිදියුණු කිරීම සහ ඒකාබද්ධ ශාක පෝෂණ පද්ධතිය Integrated Plant Nutrient System (IPNS) වැඩසටහන ප්‍රවර්ධනය කිරීම හරහා ගොවීන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කර, දීර්ඝකාලීන හා තිරසාර කෘෂි සංවර්ධනයක් ඇති කිරීම අරමුණ වේ.
වර්තමානයේ බොහෝ ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ භූමි සාරත්වය අඩුවීම සහ ජල හිඟයයි. පාංශු ඛාදනය හේතුවෙන් ඉහළ පස් තට්ටුව (Top soil) අහිමි වීමෙන් වගා ඵලදායීතාවය පහත වැටේ. එමෙන්ම රසායනික පොහොරවලට පමණක් පදනම් වීම නිසා භූමියේ ස්වාභාවික ජීව ක්‍රියාකාරීත්වය හා පෝෂක සමතුලිතතාවය බිඳ වැටේ.
IPNS ක්‍රමය හඳුන්වා දීමෙන් කාබණික පොහොර, හරිත පොහොර, ගොම, කොම්පෝස්ට් සහ රසායනික පොහොර යන සියල්ල සමබරව භාවිතා කර භූමි සාරත්වය දීර්ඝකාලීනව පවත්වාගත හැක.
එබැවින්, භූමි හා ජල සංරක්ෂණ ක්‍රියාමාර්ග (සමෝච්ච වැටි, වගා ආවරණ , ආවරන බෝග ගල් වැටි යෙදීම, නෙත්තිකාණු යෙදීම වැනි ) ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක කිරීම සහ IPNS වැඩසටහන ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.
එනම් පාංශු හා ජල සංරක්ෂණය පිළිබඳව ගොවීන්ගේ දැනුම, ආකල්ප සංවර්ධණය හා IPNS ක්‍රමය හඳුන්වා දීම තුලින් සාරවත් පසක් ඇති කිරීම
කාබනික හා රසායනික පොහොර සමබර ලෙස භාවිතා කිරීම මගින් පසේ පෝෂක චක්‍රය සුරක්ෂිත කර භූමියේ සාරවත්ව බව දීර්ඝකාලයක් පවත්වා ගැනීමට හැකි වේ. එසේම පාංශු ඛාදනය අවම කිරීම සහ වර්ෂාජලය මගින් ජල සම්පත් සුරක්ෂිත කර භූගත ජල මට්ටම ඉහළ දැමිය හැක. නිවැරදි භූමි හා ජල කළමනාකරණ ක්‍රම ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක කිරීමෙන් වගා ඵලදායීතාවය සහ ගොවීන්ගේ ආදායම ඉහළ යාමට දායක වේ. රසායනික පොහොර භාවිතය අවම කර පරිසර හිතකාමී කෘෂිකර්ම ක්‍රම ප්‍රවර්ධනය කිරීම මගින් පරිසර දූෂණය ද අඩු කරයි. තවද, ගොවි කණ්ඩායම් හරහා දැනුවත් කිරීම සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රජා සහභාගීත්වය වර්ධනය වී ව්‍යාපෘතිය දිගුකාලීනව සාර්ථකව පවත්වා ගැනීමට හැකි වේ.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.