වී වගාවේ ඒකක නිෂ්පාදනය ඉහළ නැංවීම (වී වගා යාය වැඩසටහන)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර භෝගය වන වී වගාව ගොවීන්ගේ ආදායම් මාර්ගයක් ලෙසත් රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහාත් වැදගත් වේ. කෙසේ වෙතත් වර්තමානයේ නිෂ්පාදන වියදම් ඉහළ යාම, ශ්‍රම හිඟය සහ නිවැරදි කෘෂි කළමනාකරණ ක්‍රම ප්‍රමාණවත් ලෙස භාවිතා නොකිරීම වැනි කරුණු හේතුවෙන් වී වගාවේ ඒකක නිෂ්පාදනය ප්‍රමාණවත් මට්ටමකට පැමිණ නැත. එම නිසා ඇතැම් ගොවීන් වී වගාවෙන් ඉවත් වීමට හෝ වගා ප්‍රමාණය අඩු කිරීමටද ප්‍රවණතාවක් පෙන්වයි.
මෙවැනි තත්ත්වයක් තුළ වී වගාවේ ඒකක අස්වැන්න වැඩි කරමින් නිෂ්පාදන වියදම අඩු කර ගැනීම ඉතාමත් වැදගත් කරුණකි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති නව කෘෂි තාක්ෂණික ක්‍රම හා ඒකාබද්ධ කළමනාකරණ ක්‍රම ගොවීන් අතර ප්‍රචලිත කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් පැරෂුට් තැටි භාවිතයෙන් පැළසිටුවීම, නිර්දේශිත පොහොර හා ශාක පෝෂක කළමනාකරණය, ඒකාබද්ධ පළිබෝධ හා වල් පැළෑටි පාලනය වැනි ක්‍රම භාවිතා කිරීම මගින් අස්වැන්න වැඩි කර ගැනීමටත් නිෂ්පාදන වියදම අඩු කර ගැනීමටත් හැකියාව ඇත.
ඒ අනුව වාර්ෂිකව කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයකින් තෝරාගත් යායවල් එකක් හෝ කිහිපයක් සඳහා අස්වනු වැඩිකිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ඒකාබද්ධ තාක්ෂණික කට්ටලය (Integrated Technical Package) ගොවීන් අතර ප්‍රචලිත කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇත. පැරෂුට් තැටි භාවිතය මගින් අක්කරයකට අවශ්‍ය බීජ වී ප්‍රමාණය (12–15 kg) ප්‍රමාණයක් දක්වා අඩු කර ගුණාත්මක බිත්තර වී සඳහා වැයවන මුදල් අඩුකර ගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම ආදර්ශ යාය වගා ක්‍රම මගින් මෙම තාක්ෂණික ක්‍රම ගොවීන්ට ප්‍රායෝගිකව දැකගැනීමට අවස්ථාව ලැබෙන අතර එය අනෙකුත් ගොවීන්ටද මෙම ක්‍රම අනුගමනය කිරීමට උනන්දු වීමට හේතු වේ. ඒ අනුව වී වගාවේ ඒකක නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවීන්ගේ ආදායම වැඩි කිරීම සහ පළාතේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
- මෙම තාක්ෂණික කට්ටලයට ඇතුළත් වන්නේ,
- ගැඔරට සීසෑම
- කන්නයට වගා කිරීම
- යාය එකට වගා කිරීම
- ගුණාත්මක බිත්තර වී භාවිතයට ගොවීන් යොමු කිරීම
- එකම වයස් කාණ්ඩයක වී ප්‍රභේද වගා කිරීම
- පස පරික්ෂාකර පොහොර නිර්දේශ ලබා දීම
- නිර්දේශිත කාබනික හා රසායනික පොහොර භාවිත
- ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය
- ඒකාබද්ධ පළිබෝධ හා රෝග පාලනය
- ජල කළමනාකරණ ක්‍රම
- නව තාක්ෂණික ක්‍රම හදුන්වාදීම මගින් නිෂ්පාදන වියදම අඩුකිරීම (පැරෂුට් තැටි භාවිතයෙන් පැළ සිටුවීම)
- වසරකට එක් වතාවක් ZnSO4 යෙදීම
- දහය්යා අඟුරු භාවිතය
- ඒකාබද්ධ වල් පැළෑටි පාලන ක්‍රම භාවිතය
වැනි ක්‍රම ඒකාබද්ධව භාවිතය මගින් නිෂ්පාදන වියදම අඩුකිරීම සහ අස්වනු වැඩිකිරීම සඳහා උපාය මාර්ග ලෙස භාවිතා කිරීමයි.
මෙම ක්‍රම ප්‍රායෝගිකව ගොවීන්ට පෙන්වීම සඳහා “යාය වැඩසටහන” ක්‍රියාත්මක කරමින් තෝරාගත් යායන්හි ආදර්ශ වගා පිහිටුවීමට සැලසුම් කර ඇත.
තවද, ගොවීන්ට තාක්ෂණික පණිවිඩ ලබාදීම සඳහා
- තාක්ෂණික පුවරු
- පුහුණු වැඩසටහන්
- ක්ෂේත්‍ර දින
- ප්‍රතිඵල ආදර්ශනයනාදී ව්‍යාප්ති ක්‍රම භාවිතා කරනු ඇත.
වැඩසටහන සඳහා අවශ්‍ය යෙදවුම් 50% රජයේ දායකත්වය යටතේ ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව විභවතාව සැලකිල්ලට ගෙන තෝරා ගන්නා යාය අක්කර 05 සිට 10 දක්වා පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.
නිවැරදි කළමණාකරනය තුලින් නිෂ්පාදන වියදම අවම කර ගන්මින් වී වගාවේ ඒකක නිෂ්පාදනය වැඩි කරගැනීමට මෙම වැඩසටහන තුලින් සැලසුම් කර ඇත.