පළාතේ එළවළු නිෂ්පාදන ඉලක්ක ලඟාකර ගැනීම සඳහා එළවළු බීජ නිෂ්පාදනය කරන ගොවීන් සඳහා පහසුකම් සැලසීම
මධ්‍යම පළාත උඩරට මෙන්ම පහතරට එළවළු වගාවටද ඉහල දායකත්වයක් ලබාදෙන පළාතක් වේ. එළවළු වගාව ගොවීන්ගේ ප්‍රධාන ජීවිකා මාර්ගයක් වන අතර ජාතික ආර්ථිකයටද වැදගත් දායකත්වයක් ලබාදේ. එහෙත් ගුණාත්මක බීජ හිඟය, අඛණ්ඩ සැපයුම් ගැටළු සහ බීජ ලබා ගැනීම විදේශ ආනයන මත රඳාපැවතීම නිසා එළවළු නිෂ්පාදනයට බාධා ඇතිවේ. මෙම තත්ත්වය මත මධ්‍යම පළාතේ පරිසරයට ගැලපෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිදහස් තර ඇති වැඩි අස්වනු ලබා දෙන ගුණාත්මක එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. මෙය මගින් නිෂ්පාදන වියදම් අඩු කිරීම, අස්වැන්න වැඩි කිරීම, සහ විදේශ විනිමය ඉතිරි කිරීම අපේක්ෂා කෙරේ. තවද, දේශීය බීජ නිෂ්පාදනය මගින් රෝග හා පළිබෝධවලට ඔරොත්තු දෙන, පරිසරයට ගැලපෙන බීජ වර්ග ලබාගැනීමට හැකි වන අතර, බීජ නිෂ්පාදන ව්‍යවසායකයින් බිහිවීමෙන් ස්වයං රැකියා අවස්ථාද වර්ධනය වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යම පළාතේ එළවළු නිෂ්පාදනය වැඩි කිරීම වන අතර, නව ප්‍රභේද ප්‍රචලිත කිරීම, ගුණාත්මක බීජ වෙළඳපොළ සුලභ කිරීම, තිරසාර බීජ නිෂ්පාදන ජාලයක් ඇති කිරීම සහ රැකියා අවස්ථා වර්ධනය කිරීම යන අනු අරමුණු ඇතුළත් වේ. ව්‍යාපෘතිය යටතේ සුදුසු ප්‍රදේශ හා බීජ වර්ග තෝරා ගැනීම, ගොවීන් හඳුනාගෙන පුහුණු කිරීම, මූලික බීජ ලබාදීම, බීජ නිෂ්පාදනය හා සහතික කිරීම, සහ වෙළඳපොළට නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරේ.